Wednesday, 26 April 2023

දීඝවාපිය

දීඝවාපිය

 නැගෙනහිර පළාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සැලකෙන දීඝවාපිය සොළොස්මස්ථානවලින් එකක් ලෙස හදුන්වයි. එය විශාලත්වයෙන් ලංකාවේ හතරවන දාගැබ ලෙස සැල්. අම්පාරට යන කවුරුත් දීඝවාපිය වැඳපුදා ගැනීමට යාම සිරිති. බෞද්ධයන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේගේ නිය ධාතුව දීඝවාපී චෛත්‍යයේ නිදන්කර ඇති බවටයි. මෙම දාගැබ දශක ගණනාවක් තිස්සේ පවතින්නේ සංරක්ෂණය නිම නොකළ තත්ත්වයකයි. 

දීඝවාපි පුදබිම ගුවනේ සිට-

නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ පිහිටි දීඝවාපියට දැන් හොඳ මාර්ග පහසුකම් තිබෙන නිසා පහසුවෙන් ළඟාවිය හැකියි. අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කි. මී. 6ක් පමණ ගමන් කළ විට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කි. මී. 12ක් ගමන් කිරීමෙන් දාගැබට පිවිසීමට පුළුවන්. අම්පාර නගරයේ සිට විහාරයට දුර කි. මී. 18ක්.

අතීතයේ දී රුහුණු ජනපදයට අයත්ව තිබූ දීඝවාපිය “දිග් වූ වැව“, “දිගා වැව“, “දීඝවාපිය” ලෙස ජන ව්‍යවහාරයේ පවතිනවා. ලිඛිත සාධක අනුව දිගාවැව, දීඝවාපි මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඩුළු, දිගාවෑ, දිගාමඩුල්ල ආදී වශයෙන් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා.

ඉතිහාසය 

වාහල්කඩක නටබුන්

දීඝවාපිය පිළිබඳ ව ප්‍රථමයෙන්ම ඓතිහාසික තොරතුරු අනාවරණය වන්නේ බුදුන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය පිළිබඳ තොරතුරුවලින්. බුදුහිමියන් කැලණිය, සමන්කූටය, හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී දිගාවැවට වැඩම කර සමාපත්ති සුවයෙන් වැඩ සිටි බව දීපවංශය සහ මහාවංශය සඳහන් කරනවා.

දීඝවාපිය ජනාවාස වීම මෙරට මුල්ම ජනාවාස අතරට ඇදී යනවා. පණ්ඩුවාසුදේව රජුගේ බිසව වූ භද්දකච්චායනාගේ සොයුරන් 8 දෙනෙක් ඉන්දියාවෙන් මෙහි පැමිණි බව ද, ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය නම්වලින් ජනාවාස පිහිටුවා ගන්නා ලද බව ද මහාවංය සඳහන් කරනවා. මෙම සොයුරන් අතරින් දීඝායු කුමරා ඇති කළ ජනාවාසය “දීඝායුගාම” නමින් හැඳින්වුණා. පසු ව එය දීඝවාපිය වූ බව පැවසෙනවා.

දාගැබේ දසුනක්

1953 දී දීඝවාපියට නුදුරින් කොණ්ඩවට්ටවන වැව අසලින් හමු වූ ටැම් ලිපියට අනුව මෙතෙර දිගාමඩුල්ල නම් පැරණි නාමය නිශ්චිත ව හඳුනාගත හැකියි. කාවන්තිස්ස රජු විසින් තම පුත්‍රයා වූ සද්ධාතිස්ස දිවයිනේ කෘෂි සංවර්ධනය සඳහා යැවූ අතර ඔහු දිගාමඩුල්ල පාලනය කරමින් සංවර්ධනය කර තිබනවා. පිය රජුගේ මරණින් පසු ගැමුණු කුමරු සමග ආරාවුලක් ඇතිකර ගත් සද්ධාතිස්ස කුමරා, තම මව වන විහාරමහා දේවිය රැගෙන පැමිණියේත් දිගාවැවට බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. දුටුගැමුණු රජ වූ පසු ව යළිත් සද්ධාතිස්ස කුමරා දිගාමඩුල්ලට යවා තිබෙනවා.

කණිට්ඨතිස්ස රජුගේ රන්පත

පැරණි මල් ආසනයක්

දීඝවාපී චෛත්‍ය නිශ්චිත ව කුමන කාලයක ඉදිකරන ලද්දක් ද යන්නට සෙල්ලිපි සාධක හමුවන්නේ නැහැ. මහාවංශය සඳහන් කරන්නේ සද්ධාතිස්ස රජු (ක්‍රි. පූ. 137- 119) “දිගා වෑ වෙහෙර ද සෑයක් සහිත කොට කර වීය. ඒ සෑය වසා එලන සත් රුවන් ඇමුණූ සැට්ටයක් කරවන ලදී.” ආදි වශයෙන්. දිගනකාදි වෙහෙර සද්ධාතිස්ස රජු විසින් කරවන ලද බව දඹදෙණි යුගයේ ලියන ලද පූජාවලියේ ද සඳහන් වෙනවා. දාගැබේ බටහිර වාහල්කඩෙන් හමු වූ කණ්ට්ඨතිස්ස රජුගේ (ක්‍රි. ව. 164-192) රන්පතකට අනුව ඔහු දාගැබ ප්‍රතිසංස්කරණයට දායකත්වය දක්වා තිබෙන බව හෙළි වෙනවා.  

වාහල්කඩක කල්ප වෘක්ෂ කැටයම්

මහාපරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි. ව. 1153 – 1180) දීඝවාපී ප්‍රදේශය මානාභරණ රජු හා සුගලා බිසවගේ බල ප්‍රදේශයක් ලෙස පැවැති බව මහාවංශයේ සඳහන් වෙනවා. දීඝවාපියෙහි ඇති වු කැරලි මර්දනයට පරාක්‍රමබාහු රජ සේනාධිපතිවරු යවා තිබෙනවා. ඒ කාලයේ දීඝවාපී විහාරය ද දියුණු මට්ටමක තිබෙන්නට ඇති බව පේනවා.

මහනුවර සමයේ දී ලියන ලද නම් පොත හෙවත් විහාර අස්න නම් ලේඛනයේ නඛා වෙහෙර ලෙස සඳහන් වන්නේ දීඝවාපී දාගැබ යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747 – 1780) “නඛ” චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශයේ සඳහන් වෙනවා. රජු විහාරයට කළ ප්‍රදානයක් ගැන ද සඳහන් වේ. උඩරට සෙනරත් රජු ද (ක්‍රි. ව. 1604-1635)  මෙම විහාරයට පැමිණ වැඳපුදාගෙන තිබෙනවා.

නැවත සොයාගැනීම

පා දෝවනයට තැබූ පාදොනි

උඩරට රාජධානිය පිරිහී ගිය පසු ව ජරාවාස වූ දීඝවාපිය නැවත සොයාගන්නා ලද්දේ මඩකලපු දිස්ත්‍රික්කයේ දිසාපති වශයෙන් සිටි සෝවිස් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් 1810 දී යි. පසු ව 1896 දී මඩකලපුව දිසාපතිවරයාගේ නියෝගයක් පරිදි දාගැබ හාරා තිබෙනවා. ඉන් දාගැබට විශාල හානියක් වූ බව පැවසෙනවා. ඒ අවධියේ දාගැබ් බිමේ තිබූ ගඩොල් සහ කළුගල් කණු වීරඅඩි අමුණ වැනි වාරිමාර්ග වැඩබිම්වලට ගෙනගිය බව සඳහන් වෙනවා. 1916 දී ගොඩකුඹුරේ රේවත හාමුදුරුවෝ මෙම ස්ථානයට විත්, ආවාසයක් තනාගෙන වැඩ වාසය කර තිබෙනවා. විහාරය දියුණු කිරීමට මුල් වූ උන්වහන්සේ 1950 දී වෙඩිතබා ඝාතනය කෙරෙනවා. එවකට එම ඝාතනය රට ම කනගාටුවට පත්කළ සිදුවීමක් වුණා.

පුරාවිද්‍යා කැණීම්

කැණීම්වලින් මතුකරගත් නටබුන් 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් දීඝවාපිය හා තදාසන්න ප්‍රදේශ ගවේෂණය කර තිබෙනවා. දීඝවාපිය පැරණි ජනාවාසය ව. කි. මී. 64ක භූමියක් පුරා විසිරී තිබෙනවා. මේ භූමි ප්‍රදේශය තුළ ප්‍රධාන ආරක්ෂිත ස්මාරක 38 පිහිටා තිබෙනවා. ආයතචතුරස්‍රාකාර මල් ආසනයක් ද මෙහි තිබී හමුවුණා. පොළොන්නරුවේ රජ කළ ලීලාවති රැජනට සහ සාහසමල්ලට අයත් කාසි රාශියක් ද මෙහි කැණීම්වලින් හමුවුණා. එකල සියලු අංගවලින් පරිපූර්ණ මහා විහාරයක් වූ දීඝවාපි විහාරයට අයත් පුරාවස්තු අක්කර 1000කට ආසන්න පෙදෙසක පැතිර තිබෙන බව 1996-1999 දක්වා කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී හෙළිවුණා. ප්‍රතිමා ගෘහ, වාහල්කඩ, මල් ආසන, කවන්ධ බුද්ධ ප්‍රතිමා, නටබුන් ගොඩනැඟිලි, සිරිපතුල් ගල්, සඳකඩ පහණ, කොරවක්ගල්, පාදෝවන, ඡත්‍රගල්, පියගැටපෙළ, පැරණි පොකුණු, දාගැබ් ගොඩැලි, ප්‍රාකාර බැමි, කටාරම් ලෙන්, රාශියක් ද මෙම පුදබිම ආශ්‍රිත ව දැකගත හැකියි. දාගැබට නැගෙනහිරින් හමු වූ බෙහෙත් ඔරුවෙන් මෙහි රෝහලක් පැවති බව හෙළි වෙනවා.

මෑත සොයාගැනීම්

දාගැබ් බිමේ පැරණි ගොඩනැගිලි නටබුන්

2010 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ විධිමත් පර්යේෂණවලින් සලපතළ මළුවේ නටබුන් බොහොමයක්‌ අනාවරණය කර ගත්තා. ඇතුළු ප්‍රාකාරය, පිට ප්‍රාකාර, වැලිමළුව මෙන්ම පිවිසුම් දොරටු ද මෙම පර්යේෂණවල දී හෙළිදරව් වී තිබෙනවා. මෙම කැණිම්වලින් උක්‌කුටිකයෙන් සිටින රුවක්‌, ලැග සිටින ගවරුවක්‌, බුද්ධ ශිර්ෂයක්‌ මෙන්ම ලෝකඩ බෝධිසත්ව හා දේවරූප 07ක්‌ ඇතුළු පුරාවස්‌තු රැසක්‌ හමුවුණා. ඊට අමතර ව මෙම කැණීම් කටයුතුවල දී සලපතළ මළුවේ ගල් මත තිබී සෙල්ලිපි තුනක්‌ ද සොයාගත්තා. මෙම ලිපිවල අක්‌ෂරවලට අනුව ඒවා ක්‍රි .ව. 09 වන සියවසට අයත් බව කිව හැකියි. ඒ අනුව ක්‍රි .ව. 09 වන සියවසේ දී මෙහි සලපතළ මළුව ප්‍රතිසංස්‌කරණයට ලක්‌ වී ඇති බව පැහැදිලි වුණා.

Monday, 5 December 2022

රාජාංගනය ජලාශය


 රාජාංගනය කලාඔය හරස් කර මීටර 350ක් පමණ දිග වේල්ලක් ඉදිකර තනා ඇති රාජාංගනය ජලාශය රජරට වාරි තාක්ෂණයේ තවත් එක් පිළිඹිබුවකි. මෙම වැව ඝනමීටර් මිලියන 100.37 ක් නැතහොත් ඝනඅඩි මිලියන 3545 ක ( අක්කර අඩි 86000 ක ) ජල ධාරිතාවයකින් යුතු ජලාශයකි. මෙහි සමස්ත ජල පෝෂක ප්‍රදේශය හෙක්ටයාර 76863.6 ක් පමණ වේ.


කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකෙහිම සීමාවේ ව්‍යාප්තව ඇති රාජාංගනය ජලාශය යටතේ වගා කෙරෙන සමස්ත වගා බිම් ප්‍රමාණය අක්කර 22500 ක් පමණ වේ. ඉන් අක්කර 17000 ක් පමණ කුඹුරු ඉඩම් වන අතර ඉතිරිය හේන් වගා බිම් හා උස්සාන වාරි ගොවි බිම් ය. මෙම ගොවි බිම්වලට අමතරව නීලබැම්ම ව්‍යාපාරයට, අංගමුව වැව, තුමුල්ලේගම වැව හා එළුවන්කුලම වැවට ජලය සැපයේ. ඒ යටතේ විශාල ගොවිබිම් ප්‍රමාණයක් වගා කෙරේ.


1964 වසරේ ආරම්භ කල රාජාංගනය ගොවි ව්‍යාපාරය 1968 වසරේදී වැව ජලයෙන් පිරවීමත් සමගම මෙරට ජනතාවට බත සපයන සශ්‍රීක ගොවි ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය. මෙය ලංකාවේ ජලාශ අතරින් විශාලත්වයෙන් හත්වැනි ස්ථානය ගනී.


Saturday, 8 January 2022

විලදගොඩ රාජධානිය




 විළඳගොඩ රාජධානිය 

 ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුලියන්කුලම ගම්මානයේ පිහිටා ඇත. පුත්තලම-අනුරාධපුර මාර්ගයේ 17 කණුව මංසන්ධියේ සිට කිලෝමීටර් අටක් පමණ ඇතුළට වන්නට පුලියමන්කුලම ගම්මානයේ මෙය පිහිටා ඇත. 


දුටුගැමුණු මහ රජුගේ පුත් සාලිය කුමාරයාත් අශෝකමාලා කුමරියත් අනුරාධපුරයෙන් පැමිණ  පුලියන්කුලම ගම්මානයේ විළඳගොඩ විසූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අනුරාධපුරයෙන් පිටත් වූ සාලිය කුමරු එක්තරා දිනක දුටුගැමුණු රජතුමා මුණ ගැසී විළඳ පූජා කළ බවත් ඒ විලඳ ප්‍රමාණය සේ ප්‍රදේශයේ වෙහෙර විහාර ඉදි කරන ලෙසත් කුමරුට රජතුමා පැවසූ බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ නිසා මෙසේ ඉදිකළ පූජා භූමිය විළඳගොඩ ලෙස නම් කල බව කළ බව ප්‍රසිද්ධ කරුණක් වේ. විශාල වනාන්තර කෙලෙසක ගල් ලෙන් හැට හතරක් පිහිටා ඇති අතර ඉතාම මනරම් පරිසරයක් දක්නට ලැබේ.. මෙහි අලංකාර දිය පොකුණු, කටාරම් කෙටූ ගල් ලෙන්, සෙල්ලිපි, සාලියරාජ පොකුණ, මකර තොරණ සහිත විහාරය දක්නට ලැබේ. මෙහි විශ්මිත බැලුම්ගල දුටුවන්ගේ නෙත් සිත් ඇද ගනී. මෙම ගල විශාල ගල් පර්වතයක් මත අඩු ඉඩකින් සම්බන්ධවී ඉහළටම විහිදී තිබේ. ගල් කුළුණු මත ගල් වලින් වැසූ පියනක් දිස්වන අතර කිසිවෙකුට මෙහි මුදුනතට ළඟා විය නොහැකිය. 




එසේම මෙම මකර තොරණ සහිත විහාර ගෙය පිහිටි ගලක් මත මනාව කට කැපූ ගල් කුට්ටි යොදා බදාමෙන් තොරව අත්තිවාරම් සකස් කර තිබේ. බිත්ති වැදීමට අනුරාධපුර පූජා භූමියේ දක්නට ලැබෙන විශාල ගඩොල් යොදා ගෙන තිබේ. ගලක් මත පඩිපෙළ කපා සකස් කළ දිය පොකුණක්ද දක්නට ලැබේ. 

1995.12.31 මෙම ගම්මානයට කොටි ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමත් සමග මෙම උතුම් පින් බිම අභාවයට ලක්විය. නමුත් තවමත් මේ තුළ වටිනා නටබුන් දක්නට ලැබේ.


Friday, 12 November 2021

හත්ථිකුච්චි විහාරය

 හත්ථිකුච්චි විහාරය

පිහිටීම 

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ගිරිබාව ග්‍රාමය තුළ පිහිටා ඇත.මෙම පුදබිම අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ මහගල්කඩවල සිට ඇතුළට 15 Km ක් පමණ දුරින් පිහිටා ඇත.

වැදගත්කම

මෙම විහාරය ක්‍රි.ව. 247-249 දක්වා වසර දෙකක් වැනි කාලයක් අනුරාධපුර රජකම් කල සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය ලෙස ප්‍රසිද්ධය. නමුත් මේ රජු හිස දන් දුන් ස්ථානය පිළිබඳව යම් යම් මතවාද පවතී. එනම් වර්තමාන අත්තනගල්ල(කැලණියට ආසන්න) නම්  ස්ථානයේ මෙකී රජු හිස දන් දුන් බවට ඇතැම් පුරාණ ග්‍රන්ථ හෙලි කරයි. නමුත් බොහොමයක් මේ හා සම්බන්ධ පුරාවිද්‍යා සාධක රාජාංගන  හත්ථිකුච්චි පුදබිම තුළින් හමුවේ. 



හත්ථිකුච්චියේ සිරිසඟබෝ සිද්ධිය සනාථ කරනු ලබන සාධක

අනුරාධපුරයේ තම රජකම අතහැර දමා අනුරාධපුර රාජධානියේ දකුණු දොරටුවෙන් පිටත් ව ගොස් රාත්‍රිය වන විට ඔහු පැමිණි සිටි ස්ථානයේ දී භාවනායෝගී ව සිටි බව  වංශ කතාවල සඳහන් වේ. අනුරාධපුර නගරයේ සිට දකුණු දිශාවට වන්නට සැතපුම් 13ක් පමණ ඈතින් පිහිටි මෙම විහාරයට පාගමනක් ඔස්සේ පැයක පමණ කාලයකින් පැමිණිය හැකි ය.

පසුව බත් මුලක් රැගෙන අනුරාධපුර සිට පැමිණි දුගියා පැයක පමණ ගමනකින් පසු සිය ආහාර ගැනීමට ඔහු ළඟා වූ පර්වත මුදුනේ දී භාවනායෝගී ව සිටි සිරිසඟබෝ රජු හමු වී තිබේ. වර්තමාන අත්තනගල්ල ප්‍රදේශයට අනුරාධපුර සිට පාගමනින්, පැයක පමණ කාලයකින් ගමන් කිරීම පිළිගැනීමට අපහසු වේ.

සිරිසගබෝ රජුගේ හිස දුගියා විසින් ගෝඨාභය රජුට ගෙනැවිත් දුන් පසු, ගෝඨාභය රජු එම හිස දුන් ස්ථානයට ගොස් එහිදී දේහය මිහිදන් කොට එතන වටදාගෙයක් පිහිටු වූ බව පැවසේ. හත්ථිකුච්චි විහාර භූමියෙහි ඊට අනුරූප නටබුන් දැකගත හැකිය.

නටබුන්

මෙම විහාර භූමියෙහි ක්‍රි.පූ.3 වන සියවසේ සිට ක්‍රි.පූ.10 වන සියවස දක්වා වූ සෙල්ලිපි 60 ක්  පමණ සොයා ගෙන තිබේ. ඒ අතර අසීමිත අගයකින් යුත් ඵෙතිහාසික තොරතුරු හෙළි කරන ඒවා ද වේ. තවද දැනට මේ ස්ථානය මතව ඇති නටබුන් අතර පොහොය ගෙයක්,  බුදු මැදුරක් ,තෙමහල්  ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදාගෙයක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු 16 ක්, කටාර හා පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් 38 ක්, භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා කර වූ ඒවා යැයි සිතිය හැකි පධානඝර ඇතුළු කුටි රාශියක නටබුන් හා මෙතෙක් හඳුනා ගත නොහැකිව තිබෙන ගොඩනැගිලි ආදිය මඟින් මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම කියැවේ.

මේ අනුව මෙය ඓතිහාසික වශයෙන් වැදගත් වූ පූජනීය ස්ථානයක් බව එක හෙලාම කිව හැක.

මූලාශ්‍ර :- හත්ථිකුච්චි විහාර වංශය, නොච්චියේ සෝමානන්ද හිමි.



දීඝවාපිය

දීඝවාපිය   නැගෙනහිර පළාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සැලකෙන  දීඝවාපිය  සොළොස්මස්ථානවලින් එකක් ලෙස හදුන්වයි. එය විශාලත්වයෙන් ලංකාවේ හතරවන දාගැබ ලෙස...