Friday 12 November 2021

හත්ථිකුච්චි විහාරය

 හත්ථිකුච්චි විහාරය

පිහිටීම 

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ගිරිබාව ග්‍රාමය තුළ පිහිටා ඇත.මෙම පුදබිම අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ මහගල්කඩවල සිට ඇතුළට 15 Km ක් පමණ දුරින් පිහිටා ඇත.

වැදගත්කම

මෙම විහාරය ක්‍රි.ව. 247-249 දක්වා වසර දෙකක් වැනි කාලයක් අනුරාධපුර රජකම් කල සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය ලෙස ප්‍රසිද්ධය. නමුත් මේ රජු හිස දන් දුන් ස්ථානය පිළිබඳව යම් යම් මතවාද පවතී. එනම් වර්තමාන අත්තනගල්ල(කැලණියට ආසන්න) නම්  ස්ථානයේ මෙකී රජු හිස දන් දුන් බවට ඇතැම් පුරාණ ග්‍රන්ථ හෙලි කරයි. නමුත් බොහොමයක් මේ හා සම්බන්ධ පුරාවිද්‍යා සාධක රාජාංගන  හත්ථිකුච්චි පුදබිම තුළින් හමුවේ. 



හත්ථිකුච්චියේ සිරිසඟබෝ සිද්ධිය සනාථ කරනු ලබන සාධක

අනුරාධපුරයේ තම රජකම අතහැර දමා අනුරාධපුර රාජධානියේ දකුණු දොරටුවෙන් පිටත් ව ගොස් රාත්‍රිය වන විට ඔහු පැමිණි සිටි ස්ථානයේ දී භාවනායෝගී ව සිටි බව  වංශ කතාවල සඳහන් වේ. අනුරාධපුර නගරයේ සිට දකුණු දිශාවට වන්නට සැතපුම් 13ක් පමණ ඈතින් පිහිටි මෙම විහාරයට පාගමනක් ඔස්සේ පැයක පමණ කාලයකින් පැමිණිය හැකි ය.

පසුව බත් මුලක් රැගෙන අනුරාධපුර සිට පැමිණි දුගියා පැයක පමණ ගමනකින් පසු සිය ආහාර ගැනීමට ඔහු ළඟා වූ පර්වත මුදුනේ දී භාවනායෝගී ව සිටි සිරිසඟබෝ රජු හමු වී තිබේ. වර්තමාන අත්තනගල්ල ප්‍රදේශයට අනුරාධපුර සිට පාගමනින්, පැයක පමණ කාලයකින් ගමන් කිරීම පිළිගැනීමට අපහසු වේ.

සිරිසගබෝ රජුගේ හිස දුගියා විසින් ගෝඨාභය රජුට ගෙනැවිත් දුන් පසු, ගෝඨාභය රජු එම හිස දුන් ස්ථානයට ගොස් එහිදී දේහය මිහිදන් කොට එතන වටදාගෙයක් පිහිටු වූ බව පැවසේ. හත්ථිකුච්චි විහාර භූමියෙහි ඊට අනුරූප නටබුන් දැකගත හැකිය.

නටබුන්

මෙම විහාර භූමියෙහි ක්‍රි.පූ.3 වන සියවසේ සිට ක්‍රි.පූ.10 වන සියවස දක්වා වූ සෙල්ලිපි 60 ක්  පමණ සොයා ගෙන තිබේ. ඒ අතර අසීමිත අගයකින් යුත් ඵෙතිහාසික තොරතුරු හෙළි කරන ඒවා ද වේ. තවද දැනට මේ ස්ථානය මතව ඇති නටබුන් අතර පොහොය ගෙයක්,  බුදු මැදුරක් ,තෙමහල්  ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදාගෙයක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු 16 ක්, කටාර හා පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් 38 ක්, භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා කර වූ ඒවා යැයි සිතිය හැකි පධානඝර ඇතුළු කුටි රාශියක නටබුන් හා මෙතෙක් හඳුනා ගත නොහැකිව තිබෙන ගොඩනැගිලි ආදිය මඟින් මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම කියැවේ.

මේ අනුව මෙය ඓතිහාසික වශයෙන් වැදගත් වූ පූජනීය ස්ථානයක් බව එක හෙලාම කිව හැක.

මූලාශ්‍ර :- හත්ථිකුච්චි විහාර වංශය, නොච්චියේ සෝමානන්ද හිමි.



15 comments:

දීඝවාපිය

දීඝවාපිය   නැගෙනහිර පළාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සැලකෙන  දීඝවාපිය  සොළොස්මස්ථානවලින් එකක් ලෙස හදුන්වයි. එය විශාලත්වයෙන් ලංකාවේ හතරවන දාගැබ ලෙස...